"සද කඩ" යනු සඳෙන් අඩක් බදු වූ යන්නය. පුරාතන ශ්‍රී ලංකාවේ ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළුවීමේදී පියගැටපෙළ පාමුලින් නිර්මාණය කරන ලද අර්ධ කවාකාර ගල් පුවරුව සදකඩ පහණයි. සදකඩ පහණ පුරාතන ශ්‍රී ලංකාවේ ආරාමික වාස්තු විද්‍යාවට ඇතුළත් වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. එනම් වර්තමාන පාපිස්නයක උපයෝගීතාවය ලබා ගැනීමේ අරමුණින් බෞද්ධ ගොඩනැගිලිවලට එකතු කරන ලද මෙම කලාත්මක අංගය පසු කාලීනව කැටයම් වලින් සුපෝෂිතව කලාව මගින් බෞද්ධ චින්තනය ජනනය කරවීමට දායක වී තිබේ. සදකඩ පහනෙහි විකාශනය දෙස විමසා බැලීමේදී ආරම්භයේදී කිසිදු කැටයමකින් තොර අර්ධ ගල්පුවරුවක්, අනතුරුව එය මධ්‍යයට සුපිපුණු නෙලුම් මලක අර්ධයක් එකු කර අලංකරණ කරන ලදී. මේ සඳහා ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස සදකඩ පහණ නිදර්ශන සපයයි. අනුරාධපුර යුගයේ සදකඩ පහණ දෙස විමසා බැලීමේදී එය මධ්‍යයෙහි
අර්ධ සුපිපි නෙලුම් මල
නෙලුම් පොහොට්ටු තුඩින් ගත් හංස පේළිය
ලියවැල
ඇත්, අස්, ගව, සිංහ රූප
පලාපෙති මෝස්තර
නිර්මාණය කරන ලදී. අනුරාධපුර යුගය තුළ දක්නට ලැබෙන සදකඩ පහණෙහි ඇත්,අස්,ගව,සිංහ යන සත්ත්ව රූප එකා පසුපස එකා දිවයන ආකාරයට නිර්මාණය කර තිබෙන අතර පොළොන්නරු යුගය වනවිට ගව රූපය සදකඩ පහණෙන් ඉවත් විය.පොළොන්නරු යුගයේ හින්දු කලා ආභාෂය මේ සඳහා බලපාන ලදී.පොළොන්නරු යුගයේ සදකඩ පහණ නිර්මාණය තුළ ඇත්,අස්,සිංහ රූප පෙළ තුනකට දක්වා තිබීමද විශේෂත්වයකි.
මහනුවර යුගය වනවිට සදකඩ පහණ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර සදකඩ පහණින් සත්ත්ව රූප ඉවත්ව යාමක්ද දැකගත හැකිය. මහනුවර කැටයම් කරුවා නෙලුම් මල, ලියවැල සහ ලියපත ඇසුරින් එහි කලාත්මක ස්වභාවය ඔප් නංවා තිබේ.
මෙරට අලංකෘතම සදකඩ පහණ දක්නට ඇත්තේ අනුරාධපුර බිසෝ මාලිගය ඇසුරිනි.
අභයගිරි සංකීර්ණය තුළ පිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලට බිසෝ මාලිගය ලෙස ව්‍යවහාර කිරීම සම්බන්ධව නම් යම් ගැටලුවක් පවතී.පසු කාලීනව මෙම කලාත්මක අංගය කේන්ද්‍රකොට ගෙන කොරවක්ගල, මුරගලෙහි නිර්මාණය සිදු විය.
හෙළ කලා කරුවාට බෞද්ධ දර්ශනය කැටයම් තුළින් ඉස්මතු කර දැක්වීමට පැවති ශක්‍යතාවය මෙයින් මනාවට පිළිබිඹු වේ.